-->

728x90 AdSpace

  • Latest News

    Sunday, December 21, 2014

    ඔබ හිතනවාට වඩා මම විශාලයි



    මම කවුද? කියන කාරණය තේරුම් ගැනීමෙන් කෙනෙක්ට තමන්ගේ වර්තමාන තත්ත්වයත්, තමන්ට ජීවිතය දිගේ යා හැකි අසීමිත දුර ගැනත් මනා අවබෝධයක් මූලිකව ලැබෙනවා. ඒ කාරණය ගැන කතා කරන්න කලින් ඔබඑක දෙයක් තදින්ම විශ්වාස කරන්න ඕන. ඒ මම විශාලයි... ඔබ හිතනවාට වඩා මම විශාලයි... කියන සදාතනික සත්‍යය ඇතුළු හදින්ම විශ්වාස කිරීම.

    "ඔබ හිතනවාට වඩා මම විශාලයි" කියන්නේ ඒ වාක්‍යය ලස්සන නිසාවත්, හිතපු ගමන් ටක් ටක් ටක් ගාලා හිතට ආව නිසාවත් නෙවෙයි. ඒක විශ්වීය සංකල්පයක්. දස ලක්ෂ සංඛ්‍යාත තාරුකා ප්‍රමාණයක් පාවෙන මේ විශ්වයේ උස, පළල සහ දිග තාමත් විද්‍යාඥයන්ට හෝඩුවාවක් නැති ප්‍රබල රහසක්. මෙම විශ්වයේ තරම අඩුම තරමේ නාසා ආයතනයවත් තාම හරියටම තියා යාන්තමින්වත් දන්නේ නැහැ. නමුත් හිරු ඇතුළු ග්‍රහලෝක නවයක් ඉලිප්සාකාර ගමන් මාර්ගයක මනා සංයමයකින් යුතුව කැරකෙමින් අවකාශයේ පාවෙන අපේ ක්ෂීරපථයේ විශාලත්වය 1917දී හාර්ලෝ ෂෙප්ලි කියන විද්‍යාඥයා සොයාගත්තා. ඔහුට අනුව ක්‍ෂිරපථයෙහි විශ්කම්භය ආලෝක වර්ෂ 100,000ක් වෙනවා. ඒක සැතපුම්වලින් නම් සැතපුම් 400000000000000000ක්. එවැනි ක්ෂීර පථයන් දස ලක්ෂ ගණනක් තියෙන විශ්වයේ තරම ඔබට දැන් හිතාගන්න පුළුවන්. එය ඔබට මට හිතන්නවත් බැරි තරමට විශාලයි.

    ඒ වගේම නූතන විද්‍යාඥයන් පවසන ආකාරයට සෑම වසරකම විශ්වය තව තවත් විශාල වෙනවා. ඔව්, පුදුම වෙන්න එපා, විශ්වය තව තවත් විශාල වෙනවා. විශාලවීම විශ්වීය නියමය නිසා, ඒ නියමය ඔබට මට විතරක් අදාළ නොවෙන්න පුළුවන්කමක් නැහැ. විශ්වයේ සෑම ජීවී, අජීවී වස්තුවකටම විශාල වීමේ හැකියාව සොබාදහමෙන්ම දීලා තියෙනවා. සමහර වස්තු විටෙක ගැටෙමින්, තවත් වස්තු විටෙක විනාශ වෙමින්, තවත් අවස්ථාවක තවත් දේවල් සමඟ එකට එක්වෙමින් විශ්වය තව තවත් විශාල වෙනවා. ඔබත් විශ්වයේ දරුවෙක්. ඔබත් විශ්වයේ කොටසක්. අන්න ඒ නිසා ඇත්තටම ඔබ හිතනවාට වඩා ඔබ විශාලයි. නමුත් තමන් කොයි තරම් විශාලද කියලා 95%ක් මිනිස්සු දන්නේ නැහැ. මම දුප්පත්. මම අරයා තරම් දක්ෂ නැහැ. මම උපතින්ම නිර්මාණශීලී නැහැ, මම බුද්ධිමත් නැහැ, මට කවුරුත් ආදරේ නැහැ. මට කරන්න පුළුවන් උපරිමය මෙපමණයි වගේ දහස් ගණන් ඍණාත්මක සංකල්ප ඔළුවට දාගෙන ගොඩක් මිනිස්සු තමන් ඉතා කුඩා මිනිසෙක් කියලා හිතනවා විතරක් නෙවෙයි ඒක සදාකාලිකවම විශ්වාසද කරනවා. ඔබ ඔබගේ විශාලත්වය තේරුම් අරගෙන තියෙනවා නම්, ඔබ විශාල නැහැ, ඔබට යමක් කරන්න බැහැ කියන මිනිසුන්ට "ඔයාලා හිතනවාට වඩා මම විශාලයි" කියලා අභිමානයෙන් සහ විශ්වාසයෙන් කියන්න තරම් ආත්ම විශ්වාසයක් ඇති වෙනවා.

    හඳට ගියෙත් අෑත අෑත පෙනෙන තාරකාවලට ඇති දුර ගණන් බලා හරියටම කිව්වොත් ලෝකයම තත්ත්පරයකින් අළු ගොඩක් බවට පත්කරන්න හැකියාව තියෙන න්‍යෂ්ටික බෝම්බ හැදුවෙත්, නෙතු කඳුළින් පුරවන රෝමියෝ ජුලියට් ලිව්වෙත්, සිත් පහන් කරන ආගම් හඳුන්වා දුන්නෙත්, සීගිරි ගලේ සදා නොමැකෙන සිතුවම් ඇන්දෙත්, බඩ කපලා දරුවෝ එළියට ගත්තෙත් ඒ පුංචි මිනිසා කියන කාරණය අමතක කරන්න එපා. එම නිසා සියල්ලටම පෙර ඔබට සෑම දෙයක්ම ඔව්, සෑම දෙයක්ම කළ හැකියි කියන දේ තදින්ම විශ්වාස කරන්න.


    මිහයිල් ඉලීන් "මිනිසා යෝධයකු වුණේ කෙසේද?" (ඩ්ධඹ ථචද ඡඥජධථඥ ච ඨඪචදබ) නමින් විශිෂ්ට පොතක් ලිව්වා. එම පොතේ ඔහු විද්‍යාත්මක පදනමක ඉඳලා මිනිසා කියන කුඩා සත්ත්වයා අහසටත්, පොළොවට සහ මුහුදටත් කළ අසීමිත බලපෑම් කරන දැවැන්ත යෝධයකු බවට පත්වුණ ආකාරය ගැන ඉතා රසවත් පැහැදිලි කිරීමක් කරනවා. "ඔබ හිතනවාට වඩා ඔබ කුඩායි" කියලා සොබාදහම මිනිසාට කියන විට "ඔබ හිතනවාට වඩා මම විශාලයි" කියලා මිනිසා සොබාදහමට බය නැතිව කිව්වා. මිහයිල් ඉලීන්ගේ පොතේ අතරින් පතර තැන්වලින් උපුටා ගත්ත පහත වාක්‍යය ආශාවෙන් කියවන්න. එවිට මේ කාරණය තවත් තහවුරු වෙයි.
    "උරග ගණයේ කෙටි පාද තියෙන සතුන්ට කුරුල්ලන් බවට පත්වෙන්න වසර දස ලක්ෂ ගණනක් ගත වුණා. මෙහිදී ඔවුන් අමිල පරිත්‍යාගයක් කළා. එනම් පියාපත් යුගල උදෙසා ඉදිරි පා යුගල කැපකිරීම. නමුත් සියවසකටත් නොවැඩි කාලයක් තුළ මිනිසා පියාඹන්න ඉගෙන ගත්තා. නමුත් මිනිසාට තමන්ගේ දෑත් අහිමි වුණේ නැහැ."


    "මිනිසා අශ්වයකුට වඩා වේගයෙන් දුවන්න ඉගෙන ගෙන තියෙනවා. එහෙත් ඔහුට ඒ සඳහා එක ඇඟිල්ලක්වත් කැප කරන්න සිදුවුණේ නැහැ."
    "මිනිසා මාළුවකුට වඩා වේගයෙන් පීනන්නට ඉගෙන ගෙන තියෙනවා. එහෙත් ඔහුට සිය අත් හෝ පා වරල් බවට මාරු කරන්න සිදුවෙලා නැහැ."
    "කාන්තාරයේ ජලය ඇත්තේ ඉතා සුළුවෙන්... සොබාදහම් පොත එහෙම කිව්වහම මිනිසා එම නියමය නොතකා පොළොව ගැඹුරට හාරලා නළ මඟින් කාන්තාරය තෙත් කළා."


    "උතුරු ප්‍රදේශයේ පස නිසරුයි.. සොබාදහම් පොත එහෙම කියනවා. එහෙත් මිනිසා ඒ ගැන නොතකා පොහොර යොදා පස සරු කරනවා."
    "මිනිසා කිසිම දක්ෂතාවක් මිටින් අරගෙන ඉපදෙන්නේ නැහැ. ඔහු දක්ෂතා සිමින් සිමින් අත්පත් කර ගන්නවා."


    "මිනිසා සිය බුද්ධිය ලබාගත්තේ සොබා දහමේ දායාදයක් විදියට නිරායාසයෙන් නෙවෙයි. ඔහු එය ආයාසයකින් ලබාගත්තේ සිය දෑතේ වීර්යයෙන්."
    ඔබ හිතනවාට වඩා ඔබ විශාලයි.... ඔබ හිතනවාට වඩා දෙයක් ඔබට කරන්න පුළුවන්... ඔබ හිතනවාට වඩා ඔබ බුද්ධිමත්... ඔබ හිතනවාට වඩා ඔබ ලස්සනයි... ඔබ හිතනවාට වඩා ඔබ කාරුණිකයි.. ඔබ හිතනවාට වඩා ඔබ වටිනවා... ඔබ හිතනවාට වඩා ඔබ ස්මාර්ට්... බොහෝ දෙනා පිළිගන්න සහ විශ්වාස කරන්න අකැමැති ඇත්ත තත්ත්වය ඒකයි. නමුත් ඔබ සමහර වෙලාවට ඒක විශ්වාස කරන්නේ නැහැ. ඔබ ඔබගේ විශාලත්වය කැපවීමෙන් සහ විශ්වාසයෙන් පරීක්ෂා කරලා නැති නිසා සමහර වෙලාවට ඒ ගැන ඔබට විශ්වාසයක් නැතිව ඇති. එහෙත් දැන් ඉඳලා ඒක විශ්වාස කරන්න.



    කැළුම් වැලිගම
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඔබ හිතනවාට වඩා මම විශාලයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top