-->

728x90 AdSpace

  • Latest News

    Sunday, August 24, 2014

    ධම්මරතන හිමි මරන්න පන්සල ඇතුළෙන්ම උදව් කළේ කවුද?

    ධම්මරතන හිමි මරන්න පන්සල ඇතුළෙන්ම උදව් කළේ කවුද?
    උන්වහන්සේගේ සිත්හි කිසිදු කහටක් තිබුණේ නැත. එනිසාම රැය පහන් කරන්නට දුර බැහැර ගෙවා පැමිණෙන අයට පන්සලේ ‍ෙදාරගුළු විවරව තැබූයේ එනිසාම වන්නට ඇත. එහෙත් ඒ විවරව තිබූ දොරගුළු අතරින්ම තම ගෙල සිරකිරීමට මාරයා පැමිණෙනු ඇතැයි උන්වහන්සේ කිසිදා නොසිතන්නට ඇත.සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයෙහි අලකොළමඩ ධම්මරතන හිමි නමින් උන්වහන්සේ පැවිද්ද ලැබූයේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය උදෙසා තම ජීවිතය වෙන් කරන්නටය.

    ශාසනය සුරකින්නට බුදු පුතුන්ට උරදෙන සැදැහැතියන්ට උන්වහන්සේ උපකාර කළේ එහෙයිනි. එනිසාම උන්වහන්සේට ආධාර ගලා එන්නට වූයේ නිතැතින්මය. තමන්ට ලැබෙන ආධාර උපකාර නිසාම උන්වහන්සේ සන්තකයේ නිතරම පාහේ මුදල් ගැවසිණි. ඒ තම ප්‍රයෝජනය ඉක්මවා ගිය අන්‍යයන්ට උපකාර කිරීමේ පරමාර්ථයෙනි. නමුත් එයම උන්වහන්සේට පාරාවළල්ලක්ව මරණය කැන්දන්න ‍ෙදාරගුළු විවර කර දෙන්නට සමත් විය.

    හිර ගෙදරින් ඇප මත නිදහස්ව පැමිණි පුද්ගලයකු මාරාවේශව පුණ්‍යවර්ධනාරාමය අවට ගැවසෙන්නට වූයේ තවත් කිහිපදෙනකු සමඟය. ඔවුහු පිඹුරුපත් සැකසුයේ සිව් දෙනකුගේ කරමතින් පූජ්‍ය අලකොළමඩ ධම්මරතන හිමියන් ආදාහනාගාරය වෙත වැඩම කරවන්නටද නැතහොත් උන්වහන්සේ සතු මිල මුදල් කොල්ල කන්නටද යන්න දන්නේ ඔවුන්ම පමණක්මය. එහෙත් මිල මුදල් කෙසේ වෙතත් මේ වනවිට පූජ්‍ය අලකොළමඩ ධම්මරතන හිමියන්ගේ නාමය ශාසනයට සේවය කර අපවත් වූ ස්වාමීන් වහන්සේගේ නම් අතරට එක්වී ඇත.

    ධම්මරතන හිමියන්ගේ තනි නොතනියට පන්සලේ රැඳී සිටියේ තවත් එක් කුඩා භික්ෂුන් වහන්සේ නමක් පමණි. උන්වහන්සේද එදිනම හිරු අවරට යන්නටත් කලියෙන් තවත් අයකු සමඟ පන්සලෙන් පිටව ගොස් ඇත්තේ කුරුණෑගල මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නටය. එයද එක්තරා අතකින් දෛවයේ සරදමක් වන්නට ඇත. ධම්මරතන හිමියෝ පන්සල් බිමෙහි තනිවූහ. එතෙක් උන්වහන්සේට තනිවන්නට ඉඩක් ලැබුණේ නම් නැත. උන්වහන්සේගේ තනි මකන්නට පිටස්තරයෝ සිව් දෙනකු පැමිණියහ. ආගන්තුක විලාසයකින් තමන්ට අනතුරක් කිරීමට පැමිණි පාපතරයෝ මේ යැයි හඳුනාගන්නට තරම් උන්වහන්සේට වැටහීමක් නොතිබෙන්නට ඇති නමුත්. සමහර විටෙක යක්ෂාවේෂ වූ මරුවා විසින් ඒ පාපතරයෝ හඳුනා ගන්නට ඉඩනොදෙන්නට ඇත.

    කොහොම කෙසේ වුවද එදින රැය ආගන්තුකයන්ට බණ මඩුවේ රැය පහන් කරන්නට ධම්මරතන හිමියන්ගේ අවසරය ලැබිණි. ඔවුහු ඒ අවසරයෙන් බණ මඩුව තුළට රිංගා ගත්තේ තම සැලසුමේ පිඹුරුපත් හිතෙන් සකසාලමින් වන්නට ඇත. රැය කෙමෙන් එළැඹෙන්නට වූයේ මාරයාටද අත වනමින්ය. දවසේ වැඩ කටයුතු අහවර කරමින් ගතේ විඩාව සනහාලන්නට සියල්ලෝම නින්ද තුරුලු කොට ගත්හ. නැත. ඒ මූසල රැයෙහි සියල්ලෝම නිදාගත්තේ නැත. නිදා සිටිනා බව හැඟවූ සිවුදෙනෙක් බණ මඩුව තුළ තත්පර ගණන් කරමින්ම මධුවිතින් දෙතොල තෙමා ගත්හ.

    ඒ මංකොල්ල කෑමකටය. කළු සල්ලි මංකොල්ලකා සුදු සල්ලි කරන්නට නම් නොවේ. සුදු සල්ලි මංකොල්ලකා කළු සල්ලි කරන්නටය. කුරුමානය වැරැදී ගියේය. එහෙත් එය මාරයාගේ හෝරාව වූයෙන් මාරයාට ජීවිතයක් බිලිගන්නටම ඇවැසි විය. බිල්ල වූයේ කසාවත හැඳි හාමුදුරුවෝය. සම්බුද්ධ ශාසනය රකින්නට ජීවිතය දන්දුන් උතුම් පුත්‍රයකුය.

    රහසේම, අඳුරු නිමේෂයකදී තමන්ගේ කුටියට රිංගා ගත් පාපතරයන් පිළිබඳ උන්වහන්සේට යමක් දැනෙන්නට ඇත. අහුමුළු සියල්ලක්ම ඇද දමමින් යමක් සොයන පාපතරයන් වළකන්නට උන්වහන්සේ පෙලඹිණි. එහෙත් අසල තිබූ ඇඳ පොල්ලක් උන්වහන්සේගේ හිස මත පතිත විණි. විරෝධය පෑම කෙසේ වෙතත් ධම්මරතන හිමියන්ට තම ජීවිතය බේරා ගැනීමට සිදුවිය. ඉහළට ඇදෙන පණ කෙන්ද පහළට ඇද දමන්නට වත් ළඟපාත කිසිවකුත් සිටියේ නැත. අවට නිවෙස්වල සිටිය වුන් මේ පිළිබඳ හාංකවිසියක්වත් දැන උන්නේද නැත. ඔවුහු සියල්ලෝම සුව නින්දේ පසුවූහ.

    සුපුරුදු පරිදි පසුදා උදෑසන පන්සලට හීල් දානයද රැගෙන උපාසකයෙක් පැමිණියේය.
    ධම්මරතන හිමියන් පෙනෙන්නට නොවූ නිසා ඔහු හාත්පස විමසිලිමත් විය. ඒ දෑසට හසුවුණේ මුණින්තලා වැතිර සිටි ධම්මරතන හිමියන්ය. වෙනදා මෙන් සිනාසී දායකයන්ට සංග්‍රහ කරන හිමියන් නොවේ. නිසසලව වැතිර සිටින ධම්මරතන හිමියන්ය. ඒ වනවිටත් උන්වහන්සේගේ ජීවය ඒ සිරුරෙන් නික්ම ගොස් තිබිණි. හිරු උදාවත් සමඟ ගම ගිනිගන්නට විය.

    හාත්පස පොලිස් නිලධරයන්ය. ඒ අවු අස්සේ සිදුවූ අපරාධයේ සුලමුල සොයන්නට පොලිස් සුනඛයන්ද කැඳවිණි. උණ නතර වූයේ පන්සලේ නතර කොට තබන ත්‍රිරෝද රථයේ රියැදුරු අසලය පළමුවර, දෙවැනිවර, තෙවැනි වර ලැබුණේද එකම ප්‍රතිඵලය තරුණ ත්‍රිරෝද රථ රියැදුරා අත්අඩංගුවට ගැණිනි. ප්‍රශ්න කිරීම් ඇරැඹිණි.

    සවනි ශේශාධි
    ප්‍රේමලාල් විජේරත්න
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ධම්මරතන හිමි මරන්න පන්සල ඇතුළෙන්ම උදව් කළේ කවුද? Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top