-->

728x90 AdSpace

  • Latest News

    Saturday, September 6, 2014

    අවුරුදු 410කට පස්සෙ ලේ නෑයොත් එකතු කරගෙන විමලධර්මසූරිය රජුට පින් දෙන්න දළදා වහන්සේට දානයක්

    එදා මෙදා තුර ඉතිහාසයේ කවර දිනෙකවත් පෙරටු කර නොගත් අන්දමේ කෘතවේදී හැඟීමකින් යුතුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩවසන උතුම් වූ ශ්‍රී දළදා වහන්සේ උදෙසා සුවිශේෂී දානයක් පිරිනැමීමට දන්තුරේ සංවිධානයක් කටයුතු කරමින් සිටී.

    මෙම සුවිශේෂී දානමය පින්කම සිදු කිරීමට සුපහන් හැඟුමින් මේ වන විට පේවෙමින් සිටින සංවිධානය වන්නේ දන්තුරේ "විමලධර්මසූරිය මහරජ - කුසුමාසන දේවිය" අනුස්මරණ පදනමයි.
    නොයෙකුත් අරමුණු ඇතිව මෙරටේ නොයෙකුත් නම්වලින් පෙනී සිටින අනෙකුත් සංවිධාන අතර "විමලධර්මසූරිය මහරජ - කුසුමාසන දේවිය" අනුස්මරණ පදනමේ අරමුණු හා වැඩකටයුතුද වෙනස්ය.


    දඹගොඩ සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතුව විමලධර්මසූරිය මහරජ - කුසුමාසන දේවිය අනුස්මරණ පදනම ලබන සැප්තැම්බර් 10 බදාදා සවස ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා ගිලන්පස පූජාවක්ද, 11 වැනි බ්‍රහස්පතින්දා දහවල් දානයද පූජා කිරීමේ පුණ්‍යකර්මය කිරීමට ශ්‍රී දළදා මාලිගාවෙන් අවස්ථාව ලබාගෙන තිබේ. ඒ ශ්‍රී දළදා මාලිගා ඉතිහාසයේ ප්‍රථම වතාවට පළමු විමලධර්මසූරිය රජතුමා අනුස්මරණය කිරීමේ පුණ්‍යකර්මයක් සිදුකිරීමට බව පදනමේ සභාපති දඹගොඩ සෙනෙවිරත්න මහතා පවසයි. ශ්‍රී දළදා වහන්සේ උදෙසා දානයෙන් අනතුරුව භික්‍ෂුන් වහන්සේ උදෙසා දානමය පින්කමක්ද පැවැත් වේ.

    මේ මාහැඟි පින්කම සිදුකෙරෙනුයේ පළමු විමලධර්මසූරිය රජතුමා දිවංගත වී වසර 410ක් සපිරීම අනුස්මරණය කරමිනි. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මහනුවරට වැඩම කර, උන්වහන්සේ වෙනුවෙන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව ඉදිකිරීමට කටයුතු කළ පළමු විමලධර්මසූරිය රජතුමා දිවංගත වී ඇත්තේ වර්ෂ 1604 සැප්තැම්බර් 5 වැනි දිනය. ඒ අනුව ශ්‍රී දළදා මාලිගාවෙන් මේ මහඟු පුණ්‍යකර්මය සඳහා ලබාගත හැකි වූ ආසන්නතම දිනයේ විමලධර්මසූරිය රජු අනුස්මරණ පින්කම සිදු කිරීමට පදනම කටයුතු යොදාගත් බව සෙනෙවිරත්න මහතා කියයි.
    ඉකුත් වසරේදී පළමුවැනි විමලධර්මසූරිය රජුගේ දේවිය වූ දෝන කතිරිනා නොහොත් "කුසුමාසන දේවිය" දිවංගත වී වසර 400ක් පිරීම නිමිත්තෙන් බත්ගොඩපිටිය ගුණවර්ධනාරාමයේදී සංඝගත දක්‍ෂිණාවක් සිදුකර සිංහලේ අවසන් රැජනට පින් අනුමෝදන් කිරීමට කටයුතු කළේද මෙම සංවිධානයයි.
    හෙළ ඉතිහාසය දෙස ආපසු හැරී බලද්දී පළමු විමලධර්මසූරිය රජුගෙන් මේ ලක්දිවට, සිංහල ජාතියට මෙන්ම සම්බුද්ධ ශාසනයට සිදු වූ සුවිශාල මෙහෙය කිසි ලෙසකින්වත් ලඝුකර දැක්විය හැක්කක් නොවේ.

    උපතින් කොනප්පු බණ්ඩාර ලෙසින් හැඳින්වුණු පළමුවැනි විමලධර්මසූරිය රජුගේ පියා කන්ද උඩරට ප්‍රාදේශීය පාලකයකු වූ වීරසුන්දර බණ්ඩාරයන්ය. "වට්ටාරම දෙන්නම්" කියා රවටා පළමු වැනි රාජසිංහ රජු හමුවට කැඳවනු ලැබූ වීරසුන්දර බණ්ඩාරයන් බොරු වළකට වට්ටවා මරා දමනු ලැබිණි. පළමු රාජසිංහයන්ගෙන් එල්ල විය හැකි මරණ තර්ජන හේතුවෙන් තරුණ වියේ සිටි කොනප්පු බණ්ඩාර රහසිගතව කෝට්ටේට පලාවිත් පෘතුගීසීන් වෙතින් රැකවරණය සලසා ගත්තේය. පෘතුගීසීන් විසින් ‍ෙදාන් ජුවන් යනුවෙන් බෞතීස්ම කරන ලද කොනප්පු බණ්ඩාරයන්ව පසු කලෙක අවුස්ත්‍රියාව (ඔස්ටි්‍රයාවට) පිටුවහල් කරන්නට යෙදුණි. එහිදීද සියල්ලන්ගේ ආකර්ෂණය දිනාගත් ‍ෙදාන් ජුවන් නොහොත් කොනප්පු බණ්ඩාරයන් යුද ශිල්පියෙහි කෙළ පැමිණියකු විය.


    පෘතුගීසීන් නැවත කන්ද උඩරට රාජධානිය අත්පත් කර ගැනීමට පැමිණෙන්නේ මෙම යුද ශිල්පයෙහි කෙළ පැමිණි තරුණයා සමඟිනි. බලනේ කඳවුරු බැඳගත් පෘතුගීසීන් දන්තුරේ වෙල් යායට කැඳවා ගැනීමට උඩරට සිංහල සටන්කරුවන් කටයුතු කරන අතර අවස්ථානුකූලව පිල මාරු කරන කොනප්පු බණ්ඩාරයන් සිංහල සේනාවට නායකත්වය දෙමින් පෘතුගීසීන් සමූල ඝාතනය කරයි.

    ඓතිහාසික දන්තුරේ විජයග්‍රාහී සටන මෙරට ඉතිහාසයේ අමතක කළ නොහැකි හැරවුම් ලක්‍ෂයක් බවට පත් කරමින් පළමු විමලධර්මසූරිය නමින් කිරුළු පලඳින කොනප්පු බණ්ඩාර ඒ වන විට පෘතුගීසීන් භාරයේ සිටි රජකමට උරුම හිමිකම ඇති කුසුමාසන දේවිය සරණ පාවාගෙන රාජ්‍යත්වයට ඇති උරුමය තහවුරු කරගනී.
    සබරගමුවේ දෙල්ගමුව රජමහ විහාරයේ කුරහන් ගලක එතෙක් සඟවා තිබූ දන්ත ධාතූන්වහන්සේ මහනුවරට වැඩමවාගෙන තවදුරටත් සිය රාජ්‍යත්වය තහවුරු කරගන්නා පළමු විමලධර්මසූරිය රජු රජ මාලිගය අසලම දෙමහල් ප්‍රාසාදයක් කරවා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වඩාහිඳුවීමට කටයුතු කරයි.

    රට දැය හා බුදු සසුන උදෙසා මෙබඳු මාහැඟි මෙහෙවරක් කළ පළමු විමලධර්මසූරිය රජතුමාත් එතුමාගේ මෙහෙවර ඉටු කිරීමට අනුබල දෙන තීරණ ගත් අවසන් සිංහල රැජන ලෙස සැලකිය හැකි කුසුමාසන දේවියත් සදානුස්මරණය කිරීම රටේත්, ජාතියේත්, බොදුනුවන්ගේත් වගකීම බව දඹගොඩ සෙනවිරත්න මහතා කියයි. එම අරමුණ ඇතිව අමුතු නමක් ගත් විමලධර්මසූරිය මහරජ කුසුමාසන දේවිය අනුස්මරණ පදනමේ ඊළඟ කාර්යයන් ලෙස දන්තුරේ අවසන් සටන වූ දන්තුරේ වෙල්යාය අසල මෙන්ම ශ්‍රී දළදා මාලිගා භූමියේද පළමු විමලධර්මසූරිය මහරජු හා දේවියගේ පිළිරූ පිහිටුවීමට සූදානමක් පවතී.
    එසේම තමන් උපන් භූමියේ ඓතිහාසික වටිනාකම ගැන නොදත් වත්මන් හා අනාගත පරපුර ඒ පිළිබඳව දැනුම්වත් කිරීමද පදනමේ තවත් අරමුණකි.


    ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා විමලධර්මසූරිය මහ රජතුමා අනුස්මරණය කරමින් සිදු කරන්නට යන පින්කමට රජතුමාට මෙන්ම කුසුමාසන දේවියටද ලේ ඥාතීත්වය ඇති පිරිසක් සම්බන්ධ කර ගැනීමටද පදනම කටයුතු කර තිබේ.

    විමලධර්මසූරිය මහ රජුගේ මාතාව "කොස්බොක්කේ ගෙදර විමලු" මාතාව බව අස්ගිරි තල්පතේ සඳහනක් වෙතැයි දඹගොඩ සෙනෙවිරත්න මහතා සඳහන් කරයි. ඒ අනුව මහ රජුට ලේ ඥාතීත්වයක් ඇති අදටත් පැවත එන කොස්බොක්කේ ගෙදර වාසගම ඇති එම ඥාතීන් මහ රජුගේ පාර්ශ්වයෙන්ද මහනුවර ප්‍රදේශයේ ගරු කටයුතු පරපුරක් වන දේවීන් වහන්සේගේ ලේ නෑකම ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ඩී. කරල්ලියැද්ද මහතා ඇතුළු කරල්ලියැද්ද වාසගම දරන කිහිප දෙනකු දේවීන් වහන්සේගේ පාර්ශ්වයෙන්ද මෙම ඓතිහාසික දළදා පින්කමට එක්කර ගැනීමට පදනම කටයුතු කර ඇත.

    එසේම මෙම පින්කමට සහභාගි වන තවත් පාර්ශ්වයක් වන්නේ දන්තුරේ විජයග්‍රාහී සටනේදී දැක්වූ රණ ශූරත්වයට රජුගෙන් නොයෙකුත් තෑගි බෝග ඇතුළුව සරණ බණ්ඩාර හේවගේ නම්බුනාමයෙන් පුදනු ලැබූ "සරණ" නම් වීර සෙන්පතියාගෙන් පැවත එන පවුලක කිහිප දෙනෙකි.


    ශ්‍රී දළදා පූජාවට එක් කෙරෙන සහල් කිලෝ දහයම එදා පළමු විමලධර්මසූරිය රජතුමා විසින් වීර වික්‍රමාන්විත සරණ සෙන්පතියාට තෑගි ලෙස ලබාදුන් "නෙලුම් විල නොහොත්" නෙලුම් අලේ වී අමුණු පල්ලහා යනුවෙන් හඳුන්වන කුඹුරේ වී අස්වැන්නෙන් ලබාගැනීමද විශේෂත්වයක් වී තිබේ.


    එසේම විමලධර්මසූරිය මහරජු - කුසුමාසන දේවි පදනම මඟින් සිදු කරන්නට යන මෙම ඓතිහාසික දළදා පූජාව පිළිබඳ පුවත "මව්බිම" පුවත්පතෙන් කියැවූ රජු හා සම්බන්ධ ඉතිහාස ගත පවුලක වත්මන් පරපුරේ අයකුද මෙම සුවිශේෂී දළදා පූජාවට මේ වන විට එක්ව සිටී. ඒ පෘතුගීසීන් පසුව කළ කුමන්ත්‍රණයකින් රජුගේ ජීවිතය බේරා ගැනීමට සමත් වූ හේතුවෙන් "සීමන් මැරූ පතිරණගේ" නම්බු නාමයෙන් රජු විසින් පුදන ලද පරපුරක පුරුකකි.

    කුසුමාසන දේවියගේ සොහොන යළි සොයා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ඓතිහාසික තොරතුරු ගවේෂිකා තිලකා රන්දෙණිය මහත්මියගේ ලිපියක්ද පළ කළ "මව්බිම" පුවත්පත ඉතිහාසය තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් සිදු කරන පුරෝගාමී මෙහෙවර අගය කරන පදනමේ සභාපති දඹගොඩ සෙනවිරත්න මහතා "මව්බිමේ" මෙහෙවර සමඟම රටට දැයට හිතැති පිරිස් ඉදිරියට එමින් සිටින බවත්, රටේ සෑම තැනකින්ම නව පිබිදීමක් දක්නට ඇති බවත් කියයි.
    පදනමේ ගරු අනුශාසකත්වය දරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ඩී. කරල්ලියැද්ද මහතා දැනට වසං වී ඇති කෑගල්ලේ රොක්හිල්වත්තේ වැලිමන්නාතොට පිහිටි කුසුමාසන දේවිය, ඇයගේ පුතු මහා අස්ථාන කුමාරයාගේ අළුබඳුන සමඟ මිහිදන් කොට ඇති සොහොන් ගැබ සොයා ගැනීම කෙරෙහිද පදනමේ අවධානය යොමු වී ඇති බව පවසයි.

    පදනම සමඟ එක්ව කටයුතු කරන මාවනැල්ලේ පදිංචි මහාචාර්ය පී. ඒ. වික්‍රමතුංග මහතා දන්තුරේ මධ්‍ය මහා විද්‍යාල භූමියේ පිහිටුවීම සඳහා රජතුමාගේ පිළිරුවක් ඉදිකිරීමේ කටයුතු භාරගෙන ඇති අතර කුසුමාසන දේවියගේ සොහොන් ගැබ නිදහස් කරගැනීමේ නීතිමය කටයුතු ඉදිරියට ගෙන යෑමට කැමැත්ත පළකර ඇත.
    විමලධර්මසූරිය මහරජ - කුසුමාසන දේවි පදනම වෙනුවෙන් දන්තුරේ ලංකා බැංකු ශාඛාවේ අංක 76352580 ගිණුම විවෘත කොට තිබේ.

    රු කාරියවසම්
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: අවුරුදු 410කට පස්සෙ ලේ නෑයොත් එකතු කරගෙන විමලධර්මසූරිය රජුට පින් දෙන්න දළදා වහන්සේට දානයක් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top