-->

728x90 AdSpace

  • Latest News

    Thursday, September 18, 2014

    ඉවතලන කසල තේ ඉම්පොටඩ් වන රටේ.


    කසළ තේවලට හුණු අළු දිය කරල පෙරාගත්තු වතුර කළවම් කරල තේ පාට ගන්න, ඩයි වර්ග, සුවඳ වර්ග කළවම් කරලා වෙළෙඳපොළට එනහැටි පසුගිය දවසක පාරදිගේ ලිපියකින්ම ඔයාලට කියවන්න ලැබුණා. එය පළවුණාට පස්සේ හුඟ දෙනෙකුගේ ඇස් ඇරී තිබෙන බවක් පෙනෙන්නට ලැබුණේ ලද ප්‍රතිචාර හින්ද.
    සමහරු කිව්වේ කසළ තේ කියන වචනය අහලා තිබුණාට එය මේ විදියට දුප්පතා බොන තේ උගුර වෙනුවෙන් හදල තියෙන වස විස සහිත තේ කූඩුවක් කියන දෙය දැනගෙන නොහිටි බවයි. තව කීප දෙනෙක් කිව්වේ තවත් ටිකක් විස්තර ලියන්න තිබුණා කියලා.

    බඩට කන්න දෙයක් නැතිවෙලාවට කහට උගුරක් බීලා දිවි ගැටගහගන්න, හේනේ, කමතේ, වැඩපොළේ ඉන්න අහිංසකයන්ට අහක විසිකරන රොඩ්ඩකට වස විස කවල පාට කරල තේ කොළ කියලා බොන්න දෙන එක මොන තරම් පාප කර්මයක්ද කියලා තවත් අය හූල්ලන්න ගත්තට පස්සේ තමයි ඒ ගැන තවත් විස්තර හොයාගෙන යන්න හිතුණේ.

    "හෙව්වට වැඩක් නෑ මල්ලි! මිනිස්සුන්ට ඔය මජර වැඩ ඇස් දෙක ඇතුළේ තියාගෙන කෙරුවත් පෙනෙන කාලයක් නෙවෙයි මේ. කන්දෙක අස්සට රිංගගෙන කිව්වත් එක දවසයි. සුටුස් ගාලා අනෙක් කනෙන් පිටවෙලා යනවා. ඇත්ත ඒකයි. අර සන්නිවේදනය දියුණුයි මේ සන්නිවේදය දියුණුයි කියලා කිව්වට සමහර වෙලාවට මිනිස්සු ඉන්නෙ කරකවල අත ඇරල වගේ. ලෝකෙම විශ්ව ගම්මානයක් වෙලා තත්පර පහෙන්, විනාඩියෙන් හැමෝම දැනගන්නව වුණාට අල්ලපු ගෙදර සිද්ධවෙන දේ දන්නේ කීයෙන් කී දෙනාද?
    දරුවන්ට පෙන්වන්න කියලා ලෙලි තියෙන පොල් ගෙඩියක් අරගෙන යන කාලයක් මේක. විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න දරුවෙක් අහලා තිබුණා අල ගස් කිව්වම අල (අර්තාපල්) හැදෙන්නේ ගස් උඩද කියලා. ඒ හින්දා දැන ගන්ඩ ඕනනම් මම කියන්නම් අපි මේ බිස්නස් එක කොහොමද කරන්නේ කියලා. ගිය පාර ඔයාල ලිව්වේ බඩී ලොරියක ඇවිත් කසළ තේ බිස්නස් එක කරන සූපින් පොරවල් දෙකක් ගැනනේ. එහෙම නෙවේ බොහොම දුක් විඳලා අපි මේ බිස්නස් එක ඉහළටම ගෙනල්ල තියෙනව. මම මේ කතා කරන්නේ වැඩේ කරන අපි වෙනුවෙන්.

    කවුරු ඔය මොන බණ කිව්වත් කවුද සල්ලිවලට ආස නැත්තේ. සල්ලි නැති කෙනාට බල්ලෙක්වත් නැට්ට වනන්නේ නැති කාලයක් මේක.
    පැක්ටරිවල විසිකරල තියෙන කසළ තේ අපේ දක්ෂතාවන් උඩ දැන ඇඳුනුම්කම් උඩ කොහොම කොහොම හරි ගත්තා කියමුකෝ. අපිට ඒවා අරගෙන යන්න පර්මිට් එකක් ගන්න පුළුවන්. අපි කියන්නේ ඒකෙ තියෙන හොඳ තේ 12% හලාගන්න ගෙනියනව කියලනේ. ඒ කිව්වට කොහොමද ඒක කරන්නේ. හොඳ ටික හලල වෙන් කරල ගන්න පැක්ටරියට බැරිනම් අපිටද දෙයියනේ පුළුවන්.

    ලොරි ගණන් අරගෙන ආවම අපේ මෙහෙ වෙනම ගම්මානයක් තියෙනවා වෙන වෙනම එක එක විදිහේ වැඩපොළවල් තියෙනවා. එව්වගෙදි තමයි හුණු අළු පෙරාපු වතුර දාලා පල්පය හදන්නේ. දුඹුරු පාටට තියෙන දූවිලි වගේ තේ රොඩ්ඩ කළුම කළුපාට වෙනවා. ඊට පස්සේ වේලලා අරගෙන ඕන ගානට කුඩු කරගන්නවා. ඒ සේරම ඕන කරන මැෂින් දැන් අපි ළඟ තියෙනවා. කටහ ගතිය විතරක් තිබුණට මදිනේ. තේ පාට වෙන්න ඩයි, සුවඳ වර්ග..... මොනවද දැන් වෙළෙඳපොළේ ගන්න නැත්තේ.
    මෙව්ව ලොකු ලොකු මිනිස්සු බඩු ගන්න ලොකු ලොකු කඩවලට ගෙනියල හරියන්නෙ නෑ. හැම කුණුවක්ම බේරේ වැවට කිව්වා වගේ මෙව්වා ගෙනියන්න ඕන දුප්පත් මිනිස්සු ඉන්න අෑත ගම්පළාත්වලට. එයාල අතේ සල්ලි තියෙන හැටියට පැකට් එකක් දෙකක් ගන්න අයනේ. අනෙක් එක ණයට, චෙක්වලට ඉල්ලන අය නෙවෙයිනේ.
    දුප්පත් අසරණ ගැමියෝ කියන්නේ බොහොම ණයට බය මිනිස්සු. ඒ හින්ද හැම පැත්තෙන්ම අපිට පහසුයි එයාලට අපේ තේ විකුණන එක. ඔය කිව්වට තේ කොළ පොලිතීන් එකේ පැකට් කළ පලියට මිනිස්සු ගන්නෙත් නෑ. එහාට මෙහාට පෙරළල බලල, හරියට ගඳ සුවඳත් අඳුරන්නේ නැතත් නහය ළඟටත් ටිකක් අල්ලල බලනව හුඟ දෙනෙක්.

    එව්වට අපි ළඟ වැඩ තියෙනවා. අවුරුදු ගානක් තිස්සේ මේ දේවල් කරල පාඩු විඳගෙන, දඩ කාගෙන ලබාගත්තු අත්දැකීම් හින්ද තමයි අපි දැන් මේ විදියට දනි පනි ගහල ඉන්නෙ. ගමක්ම ජීවත් වෙන්නේ. මාලිගාවගේ ගෙවල් හදාගන ඉන්නෙ. වාහන තුන හතර එක ගෙදර තියාගෙන ඉන්නෙ. පවුලේ ඉන්නෙ සේරගෙම නමට වතුපිටි අරන් දාල තියෙන්නෙ. ඔයාට පුදුම ඇති අපි කොහොමද මෙව්ව මිනිස්සුන්ට මේ තරම් විකුණන්නෙ කියලා. ඒකට හොඳ උදාහරණයක් මම කියන්නද. දාහක් සෙනඟ මැද්දේ පෙරහරක් එනකොට අලියගෙන් පස්සේ ඇහැ යන්නේ කවුරු ළඟටද කියන්න පුළුවන්ද. නිලමේ ළඟට. නිකම්ම ඇදිල යනව නෙවෙයි මිනිස්සුන්ගේ අවධානය වැඩියෙන්ම දිනාගන්න විදියට ඇඳුම හදල තියෙන හින්ද එතැන විතරක් නෙවෙයි කොයි සභාවෙත් කැපිල පේන මනුස්සයා. අන්න වැඩ.

    කෙනෙක් හැරිලවත් බලන්නේ නැති කෙසඟ සිරුරක් තියෙන කෙනකුගේ වුණත් බඩ වටේ රෙදි රියන් 60ක් විතර පටලවල නිළමේ ඇඳුම දාපුවාම කොහොමද හැඩ. පට ගාලා වශී වෙනවා.
    ඒවගේ තමයි අපේ වැඩත්. වැඩකාරයට මොනවද මේ රටේ මිනිසුන්ට විකුණන්න බැරි.
    මට එක කාලෙක හම්බ වුණා රජ බඩුවක්. රජ බඩුවක් කියන්නේ හොඳ කවිකාරයෙක්. හිටිවන කවි හිටගෙන වක්කරයි. ගමක කෙනෙක්. බුලත් කඩේට ගිහින් බුලත් විටක් ඉල්ලන්නෙත් කවියෙන්. බස්එකට නැඟල බහින තැන කියලා ටිකට් එක ඉල්ලන්නෙත් කවියෙන්.

    තමුන්ගේ තාත්තාගේ වත්තේ පොල් හොරෙන් කඩන්න ගිහින් කීප සැරයක් හිරේ විලංගුවේ වැටුණු කෙනෙක්. දැන් මවා ගන්න පුළුවන්නෙ චිත්‍රය කොහොම කෙනෙක්ද කියලා.
    ගමේ මළ ගෙදරක තිබුණත් එතැන කැපී පෙනෙනම පුද්ගලයා. කවි කියන්නම හැදිල තියෙන මුඛරි කට එයාට ආභරණයක්.
    දවසක් දුර පළාතකට ගමනක් ගිහින් මොන විදියකින් හරි ආපහු ගමට එන්න බස් එකට සල්ලි නැතිවෙලා. සන්තකේටම තිබිල තියෙන්නෙ රුපියල් දහයක්ලු. ඒ මීට අවුරුදු හත අටකට විතර ඉස්සර.

    දහ අතේ කල්පනා කෙරුවලු මොකද කරන්නෙ කියලා. ණයට ඉල්ලා ගන්න දන්න අඳුනන කෙනෙක් නැතිලු. කාටවත් අත පාල වෙච්ච ඇබැද්දිය කියල බස් ගාස්තුව ඉල්ල ගන්න හිත දුන්නෙ නැත්තේ ඔළුවට ආපු අලුත් කල්පනාවක් හින්දලු.
    කඩේකට ගිහින් මස්කට් කෑල්ලකුයි සුදු සව්කොළේකුයි ගත්ත කියමුකෝ. පැත්තකට ගිහින් මස්කට් කෑල්ල කඩල පොඩි පොඩි ගුළි හැදුව. එතුවා සව්කොළ කෑලිවල. වටිනාකමක් පෙනෙන විදියට.

    මත්පැන් එපා කරවන අති විශිෂ්ට කල්කය. කිසිම අතුරු ආබාධයක් නෑ. ඔබේ ස්වාමි පුරුෂයාට කන කෑමකට එහෙම නැත්නම් බීමකට දාලා මේ චූටි ගුළි තුනක් තුන් වේලක් දෙන්න. එහෙම කරන්න බැරිකමක් ගෑනු කෙනකුට නෑනේ. කන පැළෙන්න ගහල ඇවිත් ගොරව ගොරව බුදියගෙන ඉන්නකොට නහය මිරිකල කටට දැම්මත් කමක් නෑ. නිදිමතෙයි, වෙරි මතෙයි හොඳට සූප්පු කර කර නිදාගනියි. නැත්නම් මිනිහ මරුමුස් පොරක්නම් ඔය යෝධයෝ වෙරි හිඳීගෙන එනකොට අතපත ගාලා බොන්න තියාගන්න වතුර කොප්පයක් තියෙනවා. ඒකට දිය කරල තිබ්බත් කමක් නෑ. දෙවැනි දවසේ ගුළිය බොනකොට ටිකක් උගුරට වගේ ඇවිත් වමනේ පොඩ්ඩක් දායි. ගණන් ගන්න එපා. බේත්හේත් මොකුත් අරගෙන දෙන්න යන්න එපා. තුන්වැනි දවසේ ගුළිය බඩට ගියපු ගමන් එදා ඉඳන් අරක්කු අරහං. මඟුල් ගෙදරක ඇට්හෝම් මේසෙක දාහක් බොන තැන ඉඳගෙන ඉඳියි. මෙයා නෙවේ වීදුරුවක් නහය ළඟට අරගන්නේ. ඔන්න වැඩ. මිට පස්සේ බීගෙන ඇවිත් බවලත් උදවියට ගුටිබැට දුන්න, පොඩ්ඩ වැරැදුණ ගමන් හිරමන පාර දුන්න කාලේ ඉවරයි. මේක මගේ අතේ... තීරණය ඔහෙල අතේ. මොකක්ද කියන්නේ... බේබද්දෙක් වෙලා ඉන්න තමුන්ගේ මහත්තයා, මනුස්සයෙක් කරලා සතුටින් සාමදානෙන් ඉන්නවද. නැත්නම් සදාකාලික දුක් විඳිනවද.

    ......... එන්න ගන්න. හැම තැනම නෑ නෙවේ කිසි තැනක නෑ. මගේ විතරයි තියෙන්නේ. පරම්පරාගත බෙහෙත් වට්ටෝරුවක්. රටේ වාසනාවට හම්බවෙලා හඳුනාගත්තු බේතක්. තව ටික දෙනාටයි....?
    හප්පට සිරි පොළට ඇවිත් බඩු අරගෙන ගෙදර යන්න ගිය ගෑනු පරාණ පට පට ගාලා ඇදෙනව. බස් එකේ ආපහු යන්න හැට්ට අස්සේ ගහල හංගාගෙන තිබුණු සල්ලි කොළ හෙමීට අදිනවා. ඇදිල එනවා. පිරෙනව.
    රටේ ඉන්න විවාහක කාන්තාවන්ගෙන් අවංකව ඇහුවොත් වැඩිදෙනෙක් කියන්නේ බැඳල ඉන්න මිනිහ බොන එකෙන් තියෙන කරදර, ප්‍රශ්න. හැළි අරක්කු, කසිප්පු තියෙන ගම්වල මේ තත්ත්වය ඉහවහා ගිහින්. ලුණු කැටේ හපල ගඩස් ගාල 'ෂොට්' එක කටේ හලාගන්න අය වගේම කියන පමාවට කටගැස්මක් හදලා දුන්නේ නැති වුණාම වළඳ ඔළුවේ ගහන පිරිමි කොයි තරම්ද.

    අන්න ඒ වගේ තැනට ඔබින බිස්නස් හදාගන්න ඕන. එක මස්කට් කෑල්ලෙන් ඒ යාළුවා දහස් ගණනක් හොයල බස් එකේ එන්න සල්ලි නැතිව හිටපු මිනිහා හවස් වෙනකොට බඩු මල්ලකුත් අරගෙන ගෙදර. ඕක තමයි එයාගේ දක්ෂතාව.
    අපේ දක්ෂතාව තමයි අමාරුවෙන් අමාරුවෙන් පොලිසියට හොරෙන් ගෙනැල්ල හදාගත්තු තේ කුඩු ටික කොහොම හරි විකුණලා සල්ලි කර ගන්න එක.
    ගමට මුදලාලිලා දෙන්නෙක් තුන්දෙනෙක් තමයි ඉන්නේ. එයාලගේ ගෙවල් ළඟ හදාගෙන තියෙන ටැංකිවල දාලා පොඟවල, වේළල, හලල, කුඩු කරල ඒ සේරම තේ කොළ නිෂ්පාදන කටයුතු කරන්නේ මුදලාලිගේ ගෙදර ඇතුළේ. ගෝලයෝ දාගෙන.

    ඒ විදියට හදාගත්තු තේ කොළ පැකට් කරන එක තමා මුළු ගමේම කට්ටිය එකතු වෙලා කරන්නේ. ගම කියන්නේ පවුල් පනහක හැටක දෙතුන්සීයක් හැමදාම වැඩ. තේ කොළ පැකට් කරනවා. දෙතුන් සීයකට රස්සාව දෙනව කියන්නෙත් පොඩි වැඩක්ද. රටට මොන තරම් සේවයක්ද. වැඩකරන මිනිසුන් හොඳට කාල බීල ඉන්න හින්දා මෙව්ව එච්චර පිටට කියන්න යන්නේ නෑ. කාට හරි කියල කියලා ආරංචි වුණොත් ආයේ මෙහේ වැඩත් නෑ. එව්ව අපි ගානට වහගෙන තියෙන්නේ. දවස ගාණේ සල්ලි පොම්ප කරනව නම් මොනවද කරන්න බැරි.

    උඩරට පිරිසුදු අර තේ, මේ තේ කියලා ලේබලේ ගහල තිබ්බම තමයි පැකට් එක මාර්කට් වෙන්නේ.
    පැත්තකට විසිකරල දාන තේ රොඩුවලින් හදපු තේවලට එකතු කරපු අළු හුනුවලටයි, ඩයිවලටයි, සුවඳවලටයි ඒ තරම් මුදලක් යන්නේ නෑනේ. ඒ හින්ද හොඳ තේ කොළ කිලෝ එකක් කඩේට දාන ගාණට වඩා බාගයක් අඩුවෙක් මෙව්ව වික්කත් කාලක් ලාබයි.

    දැන් තේ කොළ කිලෝ එකක් රුපියල් හයසීයෙන් එහාට. අපි 450යි කිව්වොත් කොහොමද පැනල ගන්න හැටි. හැබැයි මොන එක කරන්නත් පෙනුම තියෙන්න ඕන. ඒ හින්ද ලේබල් එකට ටිකක් වියදම් කරල ගහන්න වෙනව. දවසින් දෙකෙන් කරල ඉවරකරන බිස්සනස් එකක් නෙවෙයිනේ. අවුරුදු ගාණක් කරපු, තවත් පරම්පරා ගාණක් ඉස්සරහට කරන බිස්නස් එකක්නේ. අනෙක් එක රටපුරාව යන වැඩක්. ඒ හින්ද ලේබල් දහස් ගණනක් ගහනකොට තවත් අඩුවට ගහල ලාබේ වැඩිකර ගන්න පුළුවන්.
    ඊට පස්සේ ඉතින් ඔය කොල්ලො කෙල්ලො ටිකක් හොයාගෙන හොඳ කොමිස් එකක් දුන්නනම් උන් මොන මොන බොරු ගොතල හරි තේ කොළ පැකට් ටික විකුණනම්. අලුතෙන් පටන් ගත්තු බිස්නස් එකක් අම්මේ තාත්තේ දියුණු කරගන්න උදව්වටත් එක්ක පැකට් එකක් ගන්න කියපු ගමන් එක පැකට් එක ගන්න කෙනා දෙක ගන්නවා. දන්නවනේ ගම්වල හැටි. මොන ගල් හොරෙක් හරි අම්මේ තාත්තා කියපු ගමන් ඒ මිනිස්සුන්ගේ පපු කැනති උණුවෙනවා.

    එක දවසයි දෙකයි එක ගමකට බැහැල කට්ට කන්න වෙන්නේ. කටට බර හොඳ කහට තියෙන තේනේ. ඉතින් පුරුදු වෙනව එව්වම බොන්න.
    ගම්පොළ පැත්තේ තියෙන මේ වගේ කසළ තේ නිෂ්පාදන ගම්මානයක තේ කොළ ගෙයින් ගෙට ගොස් විකුණන්ඩ රජයෙන් පඩි ගන්න නිලධාරියකුගෙනුත් හොඳට උදව් හම්බවෙනවලු. දුප්පත් අසරණ මිනිස්සු එයාල කියන දේවල්වලට බයයි.
    ඒ කොහොම වුණත් අපේ ගම්වල මිනිස්සු හුඟක් වෙලාවට තුන්වේලම තේ බොන අය. ඒ කියන්නේ නොදැනුවත්කමින් තම ආයුෂ කෙටි කරගන්න තුන් වේලක් වස බෙනවා කියන එකද?
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඉවතලන කසල තේ ඉම්පොටඩ් වන රටේ. Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top