-->

728x90 AdSpace

  • Latest News

    Tuesday, September 16, 2014

    දැරිය පැහැරගෙන ගියේ ලොකු වුණාම කසාද බඳින්න.



    වැල්ලව සිව් හැවිරිදි කේෂානි දැරිය පැහැරගෙන යැමේ සිද්ධියට සම්බන්ධ 31 හැවිරිදි ඉලේපෙරුම ආරච්චිලාගේ නිමල් ගාමිණි නම් ප්‍රධාන සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ පාපොච්චාරණයක් සිදුකොට ඇත. මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ හැඳින්වෙන්නේ "ග්‍රීස් ගාමිණි" නමින් වන අතර එම නම පටබැඳි ඇත්තේද ඔහුගේ සමාජ විරෝධී ක්‍රියා කලාපයන් හේතුවෙනි. පරීක්ෂණ කිරීමේදී පෙනී ගොස් ඇත්තේ ඔහු විකෘති ආශාවන්ගෙන් පෙළෙන ඉතා පහත් මානසිකත්වයක්‌ ඇති පුද්ගලයකු බවය. 

    දරුවාව පැහැරගෙන ඇත්තේ නිධානයක්‌ ගැනීමේදී බිල්ලක්‌ ලෙස යොදා ගැනීමට බවට මෙයට පෙර මතයක් පළවුවත් එය මේවනවිට අසත්‍යයක් බවට පෙනීගොස් ඇතයි පොලිසිය විසින් ප්‍රකාශකොට තිබේ.

    මෙයට සති කිහිපයකට පෙර පොල්ගහවෙල ප්‍රදේශයේ නිවාස තුනකට සැකකරු විසින් ඇතුළු වී දැරියන් තිදෙනකු පැහැරගෙන යැමට උත්සාහ කළද එම උත්සාහයන් ව්‍යර්ථ වී ඇත.

    සැකකරු විවාහකයකු වන අතර විවාහ ජීවිතය අසාර්ථක වී පැවති ප්‍රේම සම්බන්ධතා කිහිපයක්‌ද බිඳ වැටී ඇත්තේ ඔහුගේ මෙම විකෘති ආශාවන් නිසා බවද හෙළි වී තිබේ.මොහුගේ වෘත්තීය කුලී වැඩ වන අතර පැහැරගත් කේශානි දැරියගේ දුරින් ඥාතියෙකුද වේ.

    කේෂානි දැරියගේ පියා රසකැවිලි නිෂ්පාදනය කර බෙදාහැරීමේ සුළු ව්‍යාපාරයක්‌ කරගෙන යමින් සිටි අයෙක් වන අතර කේෂානි දැරියද බොහෝ අවස්‌ථාවලදී තම පියා සමග වෙළෙඳසල්වලට යැමට පුරුදුව සිට ඇත.

    රසකැවිලි විකිණීමට යන අවස්‌ථා කිහිපයකදී මෙම සැකකරු කේෂානි දැරිය දැක ඇති අතර ඇයව පැහැරගෙන යැමට සැලසුම් කර ඇත්තේ ඊට පසුවය.

    ඉකුත් 09 වැනිදා අලුයම දෙකට පමණ සිය පාපැදියෙන් දැරියගේ නිවස අසලට පැමිණ ඇති සැකකරු නිවස ආවරණය කර තිබූ ඉටිරෙද්ද පිහියකින් කපා ඉවත් කර, නිදි යහනේ සිටි දැරිය පැහැරගෙන ඇත. පසුව පාපැදියේම දරුවාව තබාගෙන වැල්ලව ප්‍රදේශයේ කැලෑවක තිබූ ගල් ගුහාවකට රැගෙන ගොස්‌ තිබේ.

    ගල්ලෙනේ දවස්‌ දෙකක්‌ තිස්‌සේ දැරියව තබාගෙන සිටි සැකකරු ඇයට කෑමට දී ඇත්තේ අහල පහල නිවෙස්‌වලින් සොරා ගන්නා ලද ආහාරපානය. දින දෙකකට පසු දැරිය කුඹුක්‌ගැටේ ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසට රැගෙන ගොස්‌ තිබේ. එහිදී සැකකරු තම මවට පවසා ඇත්තේ එම දැරිය ලොකුමහත් වන තුරු නිවසේ තබා ගන්නා ලෙසයි.

    කේෂානි දැරිය අතුරුදන් වූ පුවතින් මුළු රටම කලබල වී ඇති බව සැකකරු දැන නොසිට ඇත. සැකකරුගේ සොහොයුරා නිවසට පැමිණි අවස්‌ථාවේ මෙම දැරිය පිළිබඳ දැනගෙන ඇති අතර ඔහු එම දැරිය පොලිසියට රැගෙන යැමට සූදානම් වී තිබේ. ඒ අවස්‌ථාවේ සැකකරු තම සොහොයුරාටද පිහියකින් පහර දීමට උත්සාහ ගෙන ඇතත් සොහොයුරා ඔහු පලවා හැර දැරිය රැගෙන නිවස ඉදිරිපිට වෙළෙඳසලකට ගොස්‌ ඇත.

    වෙළෙඳසල් හිමියාට මෙම සිද්ධිය සැලකර වැල්ලව පොලිසියට දන්වන ලෙස ඉල්ලා ඇත. එහිදී වෙළෙඳසල් හිමියා හදිසි ඇමතුම් අංකය වන 119 අමතා මෙම දැරිය පිළිබඳ පොලිසියට දන්වා තිබේ.සිද්ධිය සැල වූ වහාම ක්‍රියාත්මක වූ පොලිස්‌ කණ්‌ඩායම කුඹුක්‌ගැටේ ප්‍රදේශයට ගොස්‌ දැරිය සිය බාරයට ගත්හ.

    පැහැරගත් කේෂානි දැරියව විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා කුරුණෑගල රෝහල වෙත ඇතුළත් කරනු ලැබුණු අතර වෛද්‍ය පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත්තේ දැරියට කිසිදු ලිංගික අතවරයක්‌ සිදුකර නැති බවයි.

    මොහු මීට පෙරද දාහතර හැවිරිදි පාසල් දැරියක්‌ පාසල ඇරී නිවසට එමින් සිටියදී පැහැරගෙන ගොස්‌ දූෂණය කිරීමේ සිද්ධියකට චෝදනා ලැබූවකි. එම සිද්ධිය සම්බන්ධයෙන් වසර ගණනක්‌ බන්ධනාගාර ගතකර ඇති සැකකරු ඇපමත මුදාහැර සිට ඇත්තේ මීට වසරකට පමණ පෙරාතුවය.

    මෙම සැකකරු අසභ්‍ය චිත්‍රපට නිතරම නරඹමින් මනස විකෘති කරගත් පුද්ගලයකු බවද පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.


    පොලිසිය සිදුකල ප්‍රශ්ණ කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ මෙවැන්නකි. 
    "කිසිම ගැහැනියක්‌ කැමති නෑ මාව කසාද බැඳලා එකට ජීවත් වෙන්න. මම මේ ළමයාව අරගෙන ගියේ ලොකු මහත් කරලා එයාව කසාද බඳින්න" 

    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: දැරිය පැහැරගෙන ගියේ ලොකු වුණාම කසාද බඳින්න. Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top