-->

728x90 AdSpace

  • Latest News

    Friday, August 22, 2014

    'මල්ලිලා අක්කලාගෙ ලස්සන බලන්න එපා... ලැම්බට් කෙනෙක් වෙයි.'

           'මල්ලිලා අක්කලාගෙ ලස්සන බලන්න එපා... ලැම්බට් කෙනෙක් වෙයි.'
    ආධ්‍යාත්මිකවත්, ශාරීරිකවත් මිනිහෙක් කඩා වැටුණම ගොඩ එන්න පුළුවන් පුංචි තැනක් හරි හොයන එක හරි අමාරු වැඩක්. මගේ දුක තියෙන්නෙ රුකා ළඟ. වෛරය තියෙන්නෙ මට ගුටි පූජාවක් දීපු තිරිසනා ළඟ. ගිටාරය, පොත්්පත්, ඇඳපු ඩෙනිම්, ටීෂර්ට්, සපත්තු, සෙරෙප්පු... මගේ කාමරයම මම වගේම අපිළිවෙළ ය... අම්මා අසනීපයි කියල දැනගත්ත ගමන් අක්කා ගමේ ගිය නිසාම මට පුංචි හරි සැනසිල්ලක්. අපිළිවෙළ කාමරයක, අපිළිවෙළ වෙච්ච හිතක් තියාගෙන ඇඳ උඩට වෙලා කල්පනා කරන කොට හිත ඇතුළට හොයාගෙන එන්නෙ පුදුම අදහස්.

    මට හිතුනෙම මාතර මගේ යාළුවො ටික කොළඹට ගෙන්නලා අරූට ගුටි දානයක් දෙන්න. එහෙමත් නැත්නම් කල් යල් බලල මගේ අතින්ම උෟ මට්ටු කරන්න.
    එක එක විකාර සිතිවිලි අතරේ මගෙ තොල් දෙක රිදුම් දෙනවා.
    'ගගන'

    කලංගිත් අද ඇනෙක්සියෙ නෑ. එයා උදේම ලයිබ්රි ගිහින්. සරෝ විතරයි. අද ඇනෙක්සියෙ.
    'ගගන තාරුක ආලෝකරත්න'
    මොකද රිදෙනවද?'
    වෙනදා වගේම සරෝ අදත් හරි සැහැල්ලුයි..
    'මම ඔයාට සුප් එකක් ගෙනාවා'
    'ඒ කොහින්ද'
    'විජේරාම ගිහාන්ස් එකෙන්'
    සරෝ ඇඳන් හිටියේ ලිනන් රෙද්දෙන් මහපු කොට කලිසමක්. බ්‍රවුන් කලර් ස්කිනි එකක්. ඒකටම මැච්. මම සරෝට කැමැතිම එයා ලස්සනට අඳින නිසා.
    'ඔයා ලස්සනයි'

    'මල්ලිලා අක්කලාගෙ ලස්සන බලන්න එපා... ලැම්බට් කෙනෙක් වෙයි.'
    'ලැම්බට් කියන්නෙ'
    'අපේ කැම්පස් එකේ කොල්ලෙක්. සීනිය බැජ් එකක කෙල්ලෙකුට ලව් කළොත් උෟට ලැම්බට් කියල තමයි කියන්නෙ.'
    සරෝ මගේ ඇස්දෙක දිහා බලාගෙනම කතා කරනවා. අතේ සුප් කෝප්පයක්. ඊටත් වඩා... සරෝගේ අඩක් නිරුවත් කකුල්... පළමු වැනි වතාවට මට බයත් හිතෙනවා. කවුරුවත්ම නැති ඇනෙක්සියේ සරෝ මගේ කාමරයට එනවා. ඇවිත්... මගේ ඇඳ ඉස්මත්තෙ වාඩි වෙනවා.
    'හරි අපූරුයි ළමයා කාමරේ තියන් ඉන්න විදිය.'
    එයා එක එක දේවල් හොයන ගමන්... සුප් හැන්දකින් මගේ දෙතොල් පොඟනවා.
    'රිදෙනවද?'

    'නෑ'
    'ඇයි ගුටි කෑවෙ' මම කැමැති නෑ ගුටි කන කොල්ලන්ට. ඔයාටත් තිබුණ එකක් හරි ගහන්න.'
    මම ඇත්තටම සරොත් එක්ක වැඩිය කතාවට ගියේ නෑ.
    'පැංචි දන්නවද මම ගුටි කෑවා කියල.'
    'නෑ අපි පැංචිට කිව්වෙ නෑ. හොඳ වෙලාවට මැක්ඩොනල් එක ළඟදි ඔයාගෙ යාළුවා හමු වුණේ. නැත්නං 'ගගන තාරුක ආලෝකරත්න' පොලිස් කූඩුවෙ කූරු ගණිනවා.'
    අපි දෙන්න අතරේ වැඩියෙන්ම නිහඬතාවල් තියන්නෙ මම. වැඩියෙන් 'නිහඬතාව බිඳින්නෙ සරෝ'
    'දවස් කීයකින් ළමයා පන්ති ගියේ නැද්ද?'
    'සතියකින්'


    'ගෑනු ළමයා හොයන්නෙ නැද්ද?'
    'මොන ගෑනු ළමයද?'
    'ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්'
    'මට එහෙම කෙනෙක් නෑ.'
    හරි හරි... බොරු කියල තුවාල මහන්සි කර ගන්න එපා. මේ සුප්ටික බීලා. බෙහෙත් බීලා. ටිකක් නිදා ගන්න. හවස පැංචි එනවා. පැංචි ආව ගමන් මල්ලිගෙ කං පිරෙන්න දෙන බැනුම් ටික අහන්න මම සැදී පැහැදී ඉන්නම්.'

    'සරෝ හිනාවෙනවා... සමහර කතාවලදී තොල් ඇද කරනවා... ඇහි බැම උඩ යනවා. කළු ඉංගිරියාව නටවනවා. ඒ දඟකාරකම් එක්කම සරෝගෙ තියෙන ලාලිත්‍ය හරියටම ගැළපෙනවා. පහුගිය සතියේ සිංහල පන්තියෙ එදිරිවීර සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ පොත ගැන කතා කළ නිසාමද කොහේද සරෝගෙන් මට නොරිකාවා පේන්න ගන්නවා. සුප් ටික පොවලා... ඇඟ රස්නෙද කියලා මගේ නළලට අත තියපු වෙලාවෙ ශරීරයේම ක්‍රියාකාරීත්වය තප්පරයකට නැවතුණා කියලයි මට හිතෙන්නෙ. එක වෙලාවකට මම මහ වනචරයෙක් කියලත් හිතෙනවා. සරෝ මගේ අක්කගෙ හොඳම යාළුවා. එයා අඳින පලඳින විදිය මගේ හිත සසල කරවනවා. ඒ එයාගෙ වැරැද්දක්ද... මගේ වැරැද්දක්ද... සරෝ කොටට ඇන්දම හොරෙන් ඒදිහා බලන්න හිතෙනව නම් ඒ මගේ වැරැද්දක්ද, සරෝ අඳින විදියෙ වැරැද්දක්ද.
    කොට්ටෙ යටටවෙලා හිටිය මගේ දුප්පත් ෆෝන් කට්ට රින්ස් යන්න පටන් ගත්තෙ අනන්ත අප්‍රමාණ සිතිවිලි කන්දරාවක් එක්ක මම නිහඬ ගනුදෙනුවක ඉඳිද්දි. ඒ රුකා...
    'ගගනයා' දැන් තත්ත්වෙ මොකද?
    උඹට කියන්න මරු කතාවක් තියෙනවා. එදා උඹ පොලිස් ජීප් එකේ අරන් ගිය වෙලාවෙ උඹ ගුටිකාපු තැන තිබිල මම සිම් එකක් ඇහුලුවා. ෂුවර් එකටම අර කොල්ලගේ ෆෝන් එකේ සිම් එක.
    'මොකද කරන්නෙ'
    'ඇයි ආයෙමත් ගුටි කන්නද ලෑස්ති වෙන්නෙ. ඕක ළඟ තියාගනින්. මම ලබන සතියෙ ක්ලාස් එනවා. ඇවිත් කතා කරමු.

    - ලබන සතියට -

    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: 'මල්ලිලා අක්කලාගෙ ලස්සන බලන්න එපා... ලැම්බට් කෙනෙක් වෙයි.' Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top