-->

728x90 AdSpace

  • Latest News

    Wednesday, August 27, 2014

    නඩුව දින හතරක් දිගටම විවාදයට: සින්නතිලකන් - ජෙගන් යළි රිමාන්ඩ්

    පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබූ ඇන්ටෙනොව් 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තුව වනයේ සිට මිසයිල ගසා එම ගුවන් යානය තලාව වීරවැව ප්‍රදේශයට බිම හෙළා රුසියානු ගුවන් නියමුවා සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 32 දෙදනකු මරණයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ පවතින නඩුව සැප්තැම්බර් මස 29 වැනි දින සිට දින හතරක් අඛණ්ඩව විභාගයට ගැනීමට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය (26දා) නියෝග කළාය. මෙම නඩුවේ විත්තිකරුවන් විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට මීට පෙර ලබාදී ඇති පාපෝච්චාරණය සම්බන්ධයෙන් එදින විමසීමටද නියෝග කෙරිණි.


    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධි චෝදනා ලබා සිටින කොටි මිසයිල බළගණයේ ප්‍රබලයන් දෙදෙනා තවදුරටත් සැප්තැම්බර් මස 29 වැනි දින දක්වා රිමාන්ඩ් කරන ලෙසටද මහාධිකරණ විනිසුරු ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය. මෙසේ තවදුරටත් රිමාන්ඩ් කළේ යාපනය මර්කඩි පටුමඟ අංක 29/4 ලිපිනයේ ඉරාසතුරෙහි ජෙගන් නොහොත් පුලවන් සහ යාපනය පිරිඩ්ඩි දකුණ නිර්වේලි ලිපිනයේ නල්ලාමි සිවලිංගම් නොහොත් සින්නතිලකන් යන කොටි සංවිධානයේ මිසයිල බළගණයේ හිටපු ප්‍රබල කොටි සාමාජිකයන් දෙදෙනෙකි.

    මෙම සිද්ධිය අදාළ නඩුව අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ මෙසේ නියෝග කෙරිණි. නඩුව යළි කැඳවූ අවස්ථාවේ අනුරාධපුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම් දුන්නේ ඇන්ටනොව් 32 ගුවන් යානයට මිසයිල ගසා විනාශ කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ නඩු භාණ්ඩ සහ සටහන් විනාශ වී ඇති බවයි.

    2000 වසරේ මාර්තු මස 30 වැනි දින හෝ ඊට ආසන්න දිනයක පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබූ ඇන්ටනොව් 32 ගුවන් යානයකට විල්පත්තුව වනයේ සිට මියසිල ගසා එම ගුවන් යානය තලාව වීරවැව ප්‍රදේශයට බිම හෙළා ගුවන් යානය පදවමින් සිටි රුසියානු ගුවන් නියමුවා සහ යුද ගුවන් නාවික සහ පොලිස් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් 32 දෙනකු මරණයට පත් කළැයි මෙම විත්තිකාර කොටි මිසයිල බළගණයේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් 1988 අංක 22 සහ 1982 අංක 10 දරන පනත්වලින් සංශෝධිත 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 2 (1) (අ) වගන්ති ප්‍රකාර පනතේ 2 (2) (1) වගන්ති යටතේ අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

    ඇන්ටනොව් 32 ගුවන් යානයට මිසයිල ප්‍රහාර එල්ල කිරීම සඳහා මෙම හිටපු කොටි සාමාජිකයන් දෙදෙනා යොදා ගත් මිසයිල විදින දෙකද ස්වකීය විමර්ශනවලදී සොයා ගැනීමට කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සමත් වූ අතර එම මිසයිල විදින දෙක මීට පෙර අනුරාධපුර විශේෂ මහාධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඇන්ටනොව් 32 ගුවන් යානය තලාව වීරවැව ප්‍රදේශයට කඩාවැටී ඇත්තේ එම ගුවන් යානයේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් බවට එම අනතුර පිළිබඳ මූලික විමර්ශන මෙහෙයවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මීට පෙර ප්‍රකාශ කළද යානය ගිනි ගෙන කඩා වැටී ඇත්තේ කොටි ත්‍රස්තවාදීන් විසින් විල්පත්තුව වනයේ සිට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් නිසා බවට ස්වකීය විමර්ශනවලදී හෙළිවිණැයි පසුව කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට මීට පෙර දැනුම් දුන්නේය. පැමිණිල්ල වෙනුවෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සමඟ රජයේ අධිනීතිඥ කනිෂ්ක රාජකරුණා මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ කාලිංග රවීන්ද්‍ර මහතා පෙනී සිටියේය
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: නඩුව දින හතරක් දිගටම විවාදයට: සින්නතිලකන් - ජෙගන් යළි රිමාන්ඩ් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top