-->

728x90 AdSpace

  • Latest News

    Wednesday, August 27, 2014

    මහ මොළයක් තිබුණු පළියටම Business කරලා සල්ලි හොයන්න පුළුවන්ද?


    විසි එක්වැනි සියවසේ සාර්ථකත්වයට වඩාත් බලපෑම් කළේ කවුරුන්ද යන වග ඇසුවොත් ඊට පිළිතුරු ලෙස නොයෙකුත් උත්තර විවිධ පිරිස් විවිධ ලෙස දෙන්න පුළුවන්. කලාකරුවන්, දේශපාලනඥයන්, ක්‍රීඩකයන්, විද්‍යාඥයන් ඒ පිළිතුරු අතර ඉන්න පුළුවන්. නමුත් 21 වැනි සියවසේ සැබෑ සාර්ථකත්වයට සැබෑ ශක්තිය සහ ජවය දුන්නේ ව්‍යාපාරික ප්‍රජාව බව ඊර්ෂ්‍යාවෙන් තොරව පිළිගත යුතු සත්‍යයක්. 20 වැනි සියවස විද්‍යාඥයන්ගේ, සාහිත්‍යධරයන්ගේ සහ දේශපාලනඥයන්ගේ යුගය වුණත් 21 වැනි සියවස තුළ අති සාර්ථක වෙනස්කම් කළේ ව්‍යාපාරිකයන්.
     
     ඔබ දැන් භාවිත කරන සියලු භාණ්ඩ ඔබ අතට පත්ව තිබෙන්නේ එවැනි විශිෂ්ට ව්‍යාපාරිකයන්ගේ දැඩි කැපවීම සහ උත්සාහය මත. ජෝන් ලෝගි බෙයාර්ඩ් රූපවාහිනිය සොයා ගත්තත් ඔහුට රූපවාහිනිය විකුණා ගන්න අවශ්‍ය කටයුතු කළේ ව්‍යාපාරිකයන්. සැබැවින්ම ව්‍යාපාරිකයන් කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. පළමු වර්ගය සල්ලිකාර ව්‍යාපාරිකයන් වන අතර දෙවැනි වර්ගය ලෝකය වෙනස් කළ ව්‍යාපාරිකයන්. සල්ලිකාර ව්‍යාපාරිකයන්ගේ කුලකයට අයත් වන්නේ ව්‍යාපාර කටයුතු මඟින් බිලියන ගණන් සල්ලි කඳු ගොඩ ගැසූ ව්‍යාපාරිකයන්. මෙවැනි ව්‍යාපාරිකයන් ඕනෑ තරම් ප්‍රමාණයක් ලෝකය පුරාම ඉන්නවා. නමුත් දෙවැනි වර්ගයට අයත් ලෝකය වෙනස් කළ ව්‍යාපාරිකයන් සිටින්නේ ඉතා සුළු පිරිසක්. අප අධ්‍යයනය කළ යුත්තේ සල්ලිකාරයන් පිළිබඳව නොව සල්ලි සෙවීමෙන් එහාට ගිහින් ලෝකය වෙනස් කළ මහ මොළකාරයන් පිළිබඳව.
     
    ස්ටීව් ජොබ්ස්, රටාන් ටාටා, වෝල්ට් ඩිස්නි, අනිටා රොඩික්, බිල් ගේට්ස් වැනි ව්‍යාපාරිකයන් සල්ලි සෙවීමෙන් සහ ධනය රැස් කිරීමෙන් එහාට ගිහින් ලෝකයට නව මානයක් හඳුන්වා දුන්නා. මෙවැනි අති විශිෂ්ට ව්‍යාපාරිකයන් එහෙමත් නැත්නම් මහ මොළකාරයන් දස දෙනකුගේ ජීවන තොරතුරු අලළා මාධ්‍යවේදී කැලුම් වැලිගම රචනා කළ 'මහ මොළකාරයෝ' කෘතිය මෑත කාලීනව වඩාත් කතාබහට ලක්වුණ කෘතියක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ලොව විශිෂ්ට ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු පිළිබඳව ලියැවුණු සිංහල කෘතියක් සොයා ගැනීමට නොහැකි මේ කාලයේ කැලුම් වැලිගමගේ මෙම නවමු උත්සාහය මඟින් ලොව විශිෂ්ට ව්‍යාපාරිකයන් පිළිබඳව රසවත් සහ හරවත් තොරතුරු රැසක් දැන ගැනීමට ඉඩ ප්‍රස්තාව ලැබෙනවා.
     
    'මහ මොළකාරයෝ' කෘතිය ලියැවී තිබෙන්නේ කියවන්නා අපහසුවට සහ අතෘප්තියට පත්කරන රචනා ස්වරූපයෙන් නොවීමත් විශේෂත්වයක්. එය ලියැවී තිබෙන්නේ අපූරු ශෛලියකින් බව කෘතියෙන් උපුටාගත් පහත ඡේදවලින් මනාව නිරූපණය වනවා.
     
    '1971 වසරේදී රටාන් ටාටා ටාටා සමූහ ව්‍යාපාරයට අයත් නෙල්කෝ සමාගමේ (The National Radio & Electronics Company Limited) අධ්‍යක්ෂ ධුරයට පත්කෙරෙන අතර එය ඔහුගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වෙනවා. ඔහුගේ කළමනාකරණය යටතේ එහි වෙළෙඳපොළ කොටස 40% සිට 2% දක්වා අඩුවෙනවා. නමුත් නැවැතත් එය 25%ක් දක්වා වර්ධන කර ගන්න ඔහුට හැකියාව ලැබෙනවා. එම කඩාවැටීමට හේතු ලෙස සේවක ගැටලු සහ එවකට ජාතික ආර්ථිකයේ පැවැති දුර්වල පසුබිම බලපානවා. එම අසාර්ථක පාලනයෙන් පසුව 1977දී රටාන් ටාටාට නැවැතත් ඒ වනවිට අසාර්ථක වෙමින් පැවැති එම්ප්‍රෙස් මිල්ස් ආයතනයේ පාලනය භාර දෙන්නේ තවත් අභියෝගයක් වශයෙන්. නමුත් රටාන් නැවැතත් අවාසනාවන්තයෙක් කරමින් 1986දී එම්ප්‍රෙස් මිල්ස් ආයතනය වසා දමන්න සිද්ධ වෙනවා. නමුත් ටාටා තම උත්සාහය අතහරින්නේ නැහැ.'
     
    -කැලුම් වැලිගමගේ මහමොළකාරයෝ කෘතියෙන්
    'හෙන්රි ෆෝර්ඩ් උදෑසනම තම කාර්යාලයට ඉක්මනින්ම ආවේ ඊට මාස දෙකකට විතර කලින් තමා ඉදිරිපත් කළ යෝජනාවට ඉන්ජිනේරුවන් අදවත් නිසි පිළිතුරක් හොයාගෙන දෝ හිතමින්. සිලින්ඩර් අටම එකම අච්චුවක රැඳවූ එන්ජිමක් තරගකාරිත්වයට මුහුණ දීමට හඳුන්වා දිය යුතුව තිබුණත් ඔහුගේ ඉන්ජිනේරුවන් සියලු දෙනාම වගේ කිව්වේ ඒක කිසිසේත්ම කරන්න බැරි දෙයක් කියලා. නමුත් හෙන්රි ෆෝර්ඩ් සිලින්ඩර් අටම එකම අච්චුවක රැඳවූ එන්ජිමක් නිර්මාණය කළ හැකි බව දැඩිව විශ්වාස කළා. ඉතින් ඒ සිහිනයේම හිටිය හෙන්රි ෆෝර්ඩ් එදත් ඉන්ජිනේරුවන්ගෙන් නැවැත වරක් ඇහුවේ ඒක කළ හැකි ද කියලා.
    සර් ඒක නම් කරන්න බැරි වැඩක් කියලා ඉන්ජිනේරුවෝ සියලු දෙනාම එදින රැස්වීමේදීත් ඒකමතිකව ප්‍රකාශ කළා.'


    - කැලුම් වැලිගමගේ මහමොළකාරයෝ කෘතියෙන්.
     

    'ෆේස්බුක් සමාගමේ සභාපති වගේම ප්‍රධාන විධායක නිලධාරියා වෙන මාර්ක් සකර්බර්ග් තාමත් කාර්යාලයට එන්නේ සරසවි සමයේදී ඔහු අඳින්න වඩාත් ප්‍රිය කළ ඩෙනිම් කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරැසිලා ඉතාම සරල සහ සැහැල්ලු ආකාරයකට. ෆේස්බුක් සමාගමේ සාර්ථකත්වයට අවශ්‍ය දක්ෂ මානව සම්පතක් රැස් කරගෙන තිබීම සෑහෙන්න බලපෑවා. එහි අලෙවිකරණ සහ මෙහෙයුම් කටයුතු සඳහා නම් දැරූ දක්ෂ කළමනාකරුවන් යොදා ගන්න තරම් ඔහු බුද්ධිමත් වුණා. එම ප්‍රවීණයන්ගේ ඇසුර ඔස්සේ ඔහුගේ නොමේරූ ගතිය තවදුරටත් අඩු කර ගනිමින් සෙමෙන් සෙමෙන් පරිණත වෙන්න හැකියාවද ලැබුණා.


    - කැලුම් වැලිගමගේ මහ මොළකාරයෝ කෘතියෙන්.

    විශිෂ්ට ව්‍යපාරිකයන් මුහුණ දුන් බාධක, ඔවුන් ක්‍රියාත්මක කළ වෙනස් උපක්‍රම, ඔවුන් ගත්ත සමහර වැරැදි තීරණ, ඔවුන්ගේ ප්‍රේමය වැනි බොහෝ දේවල් පිළිබඳ අපූරු තතු කෘතිය තුළ අන්තර්ගත කර තිබෙනවා. එනිසා මෙම කෘතිය කෙනකුගේ උපත සහ විපත පමණක් සඳහන් සාම්ප්‍රදායික චරිතාපදාන කෘතිවලට මහඟු ආදර්ශයක්.

     සඳුන් ජීවන්ත
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: මහ මොළයක් තිබුණු පළියටම Business කරලා සල්ලි හොයන්න පුළුවන්ද? Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top